Friday, June 23, 2017

මිරිවැඩි සඟලක් .......

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි කියන නන්දා මාලනියෝ(මම හිතන්නේ ඇය අමතන්න හරි ක්‍රමය වෙන්න ඕනේ මේක. මේ ගැන වෙනත් බ්ලොග් එකක අදහස් ඉදිරිපත් කරලා තියෙනවා මම දැක්කා) ගායනා කරන මේ මනරම් ගීතය අද උදෑසන මගේ හිත කැළඹුවේ මෙන්න මේ පහළින් තියෙන රුපය නිසා. අපි 2013 බැංකොක් ගිය වෙලාවේ සපත්තු ගන්න චීන නගරයට(චයිනා ටවුන්-ලෝකයේ බොහෝ රටවල වල චයිනා ටවුන් එකක් තියෙනවා) ගියා. එතැන තියෙන්නේ තොග වෙළඳාම. අපි වගේ කරදර කාරයෝ දැක්කම ඔවුන්ට ටිකක් විතර පුෂ්පය විකසිත වෙනවා(මේකට අපෙත් එක්ක වැඩ කරළා ඉතාමත් අඩු වයසකින් මෙලොව හැර ගිය ගුහා කියන්නේ පූ පායිරද කියලයි). අපි අම්මලාට - අක්කලාට සපත්තු-බෑග් ගන්න ගමන් අපිටත් ඩෙක්ස් පෙයාර් එක ගානේ ගමු කියළා කවුරු හරි යෝජනා කළා. 

අපිත් සපත්තු කුට්ටම් හයේ පැක් එකක් ගත්තා. මට සාමන්‍යයෙන් හරි යන්නේ 40-41 දෙකෙන් එකක්. අපි ගත්තු ගෑණු සපත්තු වලිනුත් මම 38/39/40 වගේ ඒවා කිහිපයක් ගන්න පොරොන්දුව කර ගත්තා.  දෙකයි හතරේ ෂොපින් මලු වලට මේවා දාගෙන ආවා(උන් ගාව තියෙනවා අඩි 6 විතර ඒවත්), ඇවිත් මේවා අපේ කාමර වළ පොදි ගහගෙන ඉන්නවා. හවස් වෙත්දී හෝ ඊළඟ දිනයේදී මේවා බෙදා ගන්නවා පොරොන්දු වුණු ආකාරයට. මගේ යාලුවෝ සෙට් එක තමන්ට හරි යන ඒවා බෙදාගෙන මගේ කොටහත් දුන්නා බෑග් එකක දාලා. මමත් ගිහිං ඕක කාමරේ මගේ මුල්ලෙන් තිබ්බා. 

මේ වෙනකොට මේ වගේ පෙයාර් කිහිපයක් තිබුණ නිසා මට මේක දාන්න ඒ හැටි උනන්දුවක් තිබුණෙත් නෑ. දවසක් උදේ වැඩට එන්න සුදානම් වෙලා මම මේක දාන්න පටන් ගත්තා. දකුණු කකුලේ එක මුලින්ම දා ගත්තා. වම් කකුලේ එක දාගත්තම මට පොඩි අපහසුතාවක් දැනුණා. ඒ කියන්නේ සුළැඟිල්ල ළඟින් රිදෙනවා. මම පොඩ්ඩක් නැගිටලා ඇවිදලා බැලුවා. ඉස්සරහට පොඩ්ඩක් බර දාළා, වමට දකුණට බර දාලා බැලුවා. ඇවිදගෙන යත්දී ටිකක් වම් පැත්තට ඇදිලා යන ගතියක් දැණුනා. විදිල්ලක් කෙටුවා වගේ එක පාරටම මගේ මීටරේට වැටුණා කාරණේ. මදැයි කොළා ? දකුණු කකුල් දෙකක් නේ දීලා තියෙන්නේ. මම හනික මේ මගුල් දෙක ගලවලා දාලා මගේ සුපුරුදු සපත්තු දෙකට බැස්ස.

මම ඔෆිස් ගිහිං අනිත් පස් දෙනාට කෝල් කරළා බැලුවා. ඒගොල්ලෝ ඒ වෙනකොටත් එයාලගේ සපත්තු අඳින්න පටන් අරගෙන තිබුණා. හිතාමතා නොවුණත්, මේ ඉතුරු වුණු එක මේ විදිය බව ඔවුනුත් දැනගෙන හිටියේ නෑ. අපි පුවක් ගහකට නැග්ගොත් දෙබලක් කියන කතාව මට සිහි වුණා. මම මේ ගැන කිහිප දෙනකුගෙන් අහලා බැලුවා. අන්තිමේදී මම මල්වත්ත පාරේ සපත්තු විකුණන වෙළෙන්දන් කිහිප දෙනෙකුගෙන් මේ ගැන විමසීමක් කළා. ඒ කියන්නේ හරි කකුලකට මාරු කර ගන්න. එක් වෙළෙන්දෙක් කිවුවා අරගෙන එන්න, සමහරවිට අපි ගාව වම් කකුල් දෙකක් තියෙන්න පුළුවන් කියලා. මම අරගෙන ගියා, නමුත් අර වෙළෙන්දා එහෙම කතාවක් නොකීව ගානට වැඩේ කර ඇරියා. 

මම පසුබට වුණේ නෑ. මට ආවා ෂෝක් අදහසක්. මම ඒ වෙනකොට දැකලා තිබුණා හමුදාවේ ආබාදිතයින්, එක කකුලකට මේ වගේ සපත්තු දාගෙන අනෙක් කකුල යකඩ සපත්තුව දාගෙන යනවා. මම හිතුවා එහෙම කෙනෙක්ට මේක පරිත්‍යාග කරන්න. ඒ දවස් වල මම සේවය කලේ යෝර්ක් ස්ට්‍රීට් එකේ නිසා නිතරම, මේ වගේ අය මුණගැහෙනවා. ඒ තාජ් කියන රෙස්ටොරන්ට් එකේ. මම දවස් ගානක් එතන ඉඳගෙන බලන් හිටියා, ඒත් මට හරියන කෙනා හමු වුණේ නෑ. අන්තිමේදී මම කිහිප දෙනෙකුට මේ බව දැනුම් දුන්නා. ටික දවසක් යනකොට මට වැඩේ අමතක වුණා. 

මේ අතරේ අපේ මේ කාර්යාලය සුද්ද පවිත්‍ර කරන කාන්තාව මගෙන් මේ සපත්තු ජෝඩුව ඉල්ලා සිටියා. ඒ ඇයගේ පුතාට. ඇය ඉතාම දුප්පත් කාන්තාවක්. සැමියා කුඩු වලට ඇබ්බැහි වී, ඇයට නොයෙකුත් හිරිහැර කල බව, අපගේ කාන්තා සාමාජිකාවක් සමග පවසා තිබුණා. ඒ වනවිට ඇයගේ සැමියා සිරගතව සිටියේ. ඇයට තිබෙන තාඩන පීඩන නිසා, ඒ සිරගතවීම ආශිර්වාදයක් සේ සලකන බව පවසා තිබුණා. මම මෙය එක් පැත්තක සපත්තු කුට්ටමක් බව පවසා සිටිවිට. ඇයගේ පුතාට එය ගැටළුවක් නොවන බව සඳහන් කළා. මගේ පපුව අමුතු දල්වීමකට ලක් වූ වගක් දැනුණා. මා දෙවරක් නොසිතාම ඇයට එය ලබා දුන්නා. 

මෙහි සිටි කාඩ් මධ්‍යස්ථාන සේවකයින් බොරැල්ලේ නව කාර්යාලයට ගියත්, තොරතුරැ තාක්ෂණ ඒකකය වූ අපට මෙහි රැඳී සිටින්නට සිදු වුණේ ප්‍රායෝගික ගැටළුවක් නිසා. එක්දාස් අටසිය ගණන් වල තේ කර්මාන්ත ශාලාවක් නවීකරණය කර මෙම තෙමහල් කාර්යාලය නිර්මාණය කර තිබුණා. එහි පොලොව නිමවා තිබුණේ ළී වලින්. මෙහි අප පස් දෙනා පමණක් තනි වූ යුගයේ එය නියම හොල්මන් මන්දිරයක් බවට පත් වී තිබුණා. ඒ අප එහි ඉතා කුඩා කොටසක පමණක් සිටි නිවා. විවිධ ගැටළු රාශියකට මුහුණ දෙමින් ඉතා දුෂ්කර කාළයක් අප මෙහි ගත කළා. අපේ පවිත්‍රතා සේවිකාව වූ ඇය, සේවය නොකරන වේලාවන්හී එහි තුන්වන මහලේ තිබූ පැරණි ලිපිද්‍රව්‍ය ස්ටෝරුව සහ කෑම කාමරය තිබූ තැන සිට හඳුන්කූරු නිෂ්පාදනයක් කරමින් සිටියා. අපගේ සහෝදර සේවිකාවක් ඇයට අප සියළු දෙනාගෙන එකතු කරගත් මුදලක් පරිත්‍යාග කරමින් පවසා තිබුණේ, නරක දේවල් නොකර හොඳින් හිටියොත් අප සැමගේ උදව් ඇයට හිමි වන බවයි. 

එක් සෙනසුරාදා දිනක මා කාර්යාලයට පැමිණි මුත්, මේ සේවිකාව හෝ එහි එළිපත්ත අසල ඇති කොරිඩෝවේ මේසයක් දමාගෙන සිටින ආරක්ෂක නිලධාරියා නොසිටි බව නිරීක්ෂණය කළා. මා කාර්යාලයට ඇතුලත් වී, එහි විදුලි පහන් දල්වා, මගේ බෑගය දමා කෙළින්ම ගියේ තුන්වෙනි තට්ටුවට. ඒ ආරක්ෂක නිලධාරියා සොයනු රිසියෙන්. මා එහි යනවිට, ඈත කෙලවර ඇති, අත්හැර දමා තිබු ඉස්ටෝරුවක සිට ආරක්ෂක නිලධාරියා ඉතා කලබලයෙන් තමන්ගේ කලිසම සකසමින් පැමිණියා. මා ඔහුට දෝෂාරෝපණය ඉදිරිපස කවුරුන් හෝ නැතැයි යන්න පවසමින්. තවමත් පවිත්‍රතා සේවිකාව දකින්න ලැබුණේ නෑ. නමුත් පැදුරක් අකුලනවාට සමාන සිහින් සද්දයක් මට ඇසුණා. තවත් එහි රැඳී සිටීම යුක්තිසහගත නැති නිසාත්, සිදු වී ඇති දේ ගැන යම් ඉඟියක් ගතහැකි නිසාත් මා සෙමින් පහලට ගමන් කළා. තවත් සුළු මොහොතකින් පවිත්‍රතා සේවිකාව පහළ රාජකාරියට පැමිණියා. 

පසුව මේ ගැන මගේ ඉහල නිලධාරියා පැමිණි පසු ඔහුත් සමග පවසා සිටියා. ඔහු තුන්වන මහලේ අදාළ ස්ථානය නිරීක්ෂණය කර, මා ඉහළට කැදවාගෙන ගියේ ඉතා රහසින් යමක් පවසමින්. එහි එක්තරා කෝටුවක සීමාවක දූවිලි පිසදමා තිබුණා. ඔහු මා අභිබවා යමින් ප්‍රබලා සාක්ෂියක් සපයාගෙන තිබුණා.  මේ පිලිබඳ මා කිසිවෙකුට පැමිණිලි කළේ නෑ. මේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අදත් මා දුටු විට හිස නවා කුළුපග සිනහවක් පානවා. 

Monday, June 19, 2017

ගෑණු තද කරන්න අකමැති ඇයි .......


මේ වගේ මාතෘකා ඔස්සේ ලස්සන කවි පේලියක් අපේ සෑමා ඉස්සර ලිවුවා. දැන් ඒකා ඒ හැටියට ලියන්නෙත් නැති එකේ මමම මේක ලියලා දාන්නම්. හැබැයි ඔය කවි සීන් මට බෑ. ඇත්තටම ගෑණු මොකද තද කරන්න අකමැති? මම මේ ගැන පොඩ්ඩක් හිතවතියන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළා. වැඩි දෙනෙක් කියන්නේ "තද කළා වගේ නෙවෙයි බුරුල් කර ගන්න ගියාම, එපා වෙනවා අනේ" කියලා. සිංහල අවුරුද්දට කිට්ටු කරලා හැම තැනම සේල් පොළවල් තියෙනවනේ, ලේක් හවුස් එක ඉස්සරහ පිට තියෙන ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්තානයේත් ඒ වගේ සේල් පොළක් තිබුණා. හැමදාමත් තියෙනවා. දවසක් හවස මමත් ඔය පැත්තට සේන්දු වුණා. ඒ කන්න මොනවා හරි තියෙනවද බලන්න. 

ඔහොම ඇවිදගෙන යනකොට මම දැක්කා රටකජු, මුරුක්කු, කඩල විකුනණ අම්මා කෙනෙක්. එයාගෙන් මම ගත්තා මෙන්න මේ පහළින් තියෙන රටකජු මල්ලයි, තවත් මොනවදෝ ජාතියක්. මට හරියටම මතක නෑ. ආ ... කඩල පිටි වලින් හදපු රවුම් මුරුක්කු. ඒක කටින් කඩනකොට, මුරුක්කුව කැඩුනද නැත්නම් දතක් දෙකක් කැඩුනද කියලා දැන ගන්න වෙන්නේ ටිකක් පස්සෙන් පහුව. ඒ තරමට හයියයි හරියට ගල් ගෙඩියක් වගේ. මේ ගල්ගෙඩියක් වගේ කිව්වම මතක් වුණේ. අපේ ඔෆිස් එකේ ඉන්නවා තවමත් අවිවාහක, අවුරුදු පනහ ඉක්මවපු කෙනෙක්. එයා තරුණ කාළේ බස් එකක යනකොට කවුදෝ කෙනෙක් එයාට පොඩි හේත්තුවක් දාලා. පහුවදා කට්ටිය එක්ක වැඩේ විස්තර කරනවා. "හරියට ගල්ල්ගෙඩියක් වගේ" කියලා. ඉන් පස්සේ කට්ටිය එයා දැක්කම කියන්නේ "හරියට ගල්ල්ගෙඩියක් වගේ" කියලා. 

දැන් ඒ රටකජු පාර්සලේ මම ගත්තේ පසු පාවිච්චියට. හැබැයි අර අම්මා ඒක, දුන්නේ මෙන්න මේ විදියට. ඒ කියන්නේ ගැටේ බුරුලට. මේ වෙනකොට මේ ගැන මම පොඩි නිරීක්ෂණයක යෙදිලා හිටියේ.



කාන්තාවෝ බොහෝ වෙලාවට ටැප් එක තදින් වහන්නේ නෑ. මේ නිසා අපේ නිවසේ ජලය අපතේ ගිය වාර අනන්තයි. සීනි බෝතල්, ජෑම් බෝතල්, මාමයිට් බෝතල්, මේවා තදින් වහන්නේ නැති නිසා කූඹි රිංගපු වාර අනන්තයි. ඇහුවොත් කියන්නේ මම හොඳින් වැහුවා කියන එක. නමුත් එයාලා හොඳින් කියන ගාන පිරිමි අයට මදියි. වැරදිලා හරි පිරිමි කෙනෙක් වහපු බෝතලයක් අරින්න ගියොත්  තමයි වැඩේ. කොහොම හරි වහපු කෙනාටම ඇරලත් දෙන්න වෙනවා. 

මේකේ මාතෘකාව බලලා කැත හිතිං ආපු අය ගැන මට ඉතා කනගාටුයි. 

Thursday, June 15, 2017

පුංචි පුංචි විහිළු කෑලි ......

එක එක දේවල් හිතට එනවා. ඒ වෙලාවට හිතෙනවා මේක බ්ලොග් එකේ ලියන්න ඕනේ කියලා. නමුත් ගෙදර ආවම, නැතිනම් ඔෆිස් එකට ගියාම, එතන තියෙන දේවල් එක්ක මේවා අමතක වෙලා යනවා. ආයේ මතකෙට එන්නෙම නෑ. මේ මොහොතේ යන්තම් මතක පුංචි විහිළු කෑලි දෙකක් ලියලා දාන්නම්. 

මේ කතාව මම ඇහුවේ මම කලින් වැඩ කරපු රිවරිනා හෝටලයේ සහකාර ගනකාධිකරුවෙක් වශයෙන් සේවය කරපු රොමා මහතාගෙන්. එතුමාගේ නියම නම මතක නැති වුණත්, මේ අන්වර්ථ නාමය මට මතකයි. ඔන්න එක සේවකයෙක් එතුමා වැඩ කරපු තැනකට අලුතෙන් බඳවාගෙන තියෙනවා. ඉතිං එයාගේ ජීව දත්ත පෝරමයක් පුරවන්න කියලා, ඒ ස්ථානයේ සේවක අංශයෙන් දීලා තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් තිබිලා තියෙන්නේ. ඒකෙ සෙක්ස්(Sex) කියන තැනට මොකක්ද දාන්නේ කියලා එයා බොහෝ වෙලාවක් කල්පනා කරළා තියෙනවා. මේක කාගෙන්වත් අහන්නත් බෑනේ. ඉතිං මිනිහා කල්පනා කරළා, කරළා, අන්තිමට අර ෆෝම් එක එතැන ඉන්න ක්ලාක් මහත්තයට දීලා, 
"එහෙනං මම හෙට උදේ වැඩට එන්නම් මහත්තයා"
පින්තූරය ගත්තේ : www.kaplaninternational.com

 කියලා බොහොම ගෞරවයනේ කියළා යන්න ගිහිං. අර ක්ලාක් මහත්තයා මේ ෆෝරම් එක අරගෙන කෙළින්ම ඇවිත් අපේ රොමා මහතා ලඟට. ඇවිත් කෙළින්ම ඒක එතුමා අතට පත් කරළා. රොමා මහතා හෙමිහිට මේක කියවගෙන ගිහිං. සෙක්ස් කියන කොටුවට ඉදිරියෙන් ඒ අහිංසක අයදුම්කරුවා ලියලා තියෙන්නේ ඔකේෂනලි කියළා. ඒ කියන්නේ ඉඳහිට කියන එක.