Monday, July 16, 2018

ලෝක පාපන්දුවේ දෘශ්‍ය මායාව .......

හැමදාම නිර්මාණශීලී නිෂ්පාදන කරන, ඇඩිඩාස් සමාගම 2018 ලෝක කුසලානය වෙනුවෙන් නවතම පන්දුවක් නිර්මාණය කළා. මම ඒ ගැන ඇවිද්ද පය ...... බ්ලොග් එකේ සටහනක් තිබ්බා. ඒ ගැන. මේ පාපන්දුවේ ඉතිහාසය ගැන එතැනදී මම ඕනෑතරම් විස්තර කතා කරලා තියෙනවා. නමුත් මෙවර ලෝක කුසලානය නරඹද්දී තමයි දැක්කේ,  මේ පන්දුව ගමන් කරනකොට එකේ තියෙන ඔෆ්සෙට් ප්‍රින්ට් එක උත්තල කාචයක් වගේ පෙනෙන වග. ඔවුන් කෙතරම මේ ගැන පර්යේෂණ කරන්න ඇත්ද? මෙහෙම කරලා තියෙන්නේ එක අන්තයක් කළු කරලා, අනිත් කොටස ලා පාට වලින් ප්‍රින්ට් කරළා. පහතින් තියෙන වීඩියෝව බලන්න. 
දෘශ්‍ය මායාව නොහොත් Optocal Illusion ගැන වෙන් වෙච්ච පොතක් ඉස්සර මා ළඟ තිබුණා. පින්තූර අස්සේ සැඟවුණු වෙනත් සංඛේත මේවායේ දකින්න පුළුවන්. මුරලිදරන් දමා ගසනවා වගේ පෙනීමත් දෘශ්‍ය මායාවක් විදියට තමයි පසුකාලීනව සැලකුනේ. ඉස්සර මේ සඳහා වෙන් වුණු වෙබ් අඩවි කිහිපයක්ම තිබුණා. දැන් ඒවා නැති පාටයි. 

මෙන්න මේ අඩවියේ ගොඩාක් ඒවා තියෙනවා. මොලේ මඥ්ඥං කර නොගෙන බලන්න. 

සෙල්ෆියට සිංහල නමක් .......

හැම දෙයකටම සිංහල වචනයක් තියෙන්නම ඕනෙද ? අනේ නෑ. එහෙම නැති වචන ඕනේ තරම් තියෙනවා. අපිට සිංහල වචනෙට වඩා ඉංග්‍රීසි වචනය හුරු අවස්ථා කිහිපයක් තියෙනවා. එහෙම ඒවා ගැන ලියන්න මම මේක අවස්ථාව කර ගන්නේ නෑ. පල් හෑලි නැතිව කෙටියෙන් සටහනක් තියන්න ඕනේ වෙලාවට මේක පාවිචිචි කරන්න හිතං ආරම්භ කරපු නිසා, මෙතන මේ වගේ පුංචි දේවල් වලට හොඳයි කියළා හිතෙනවා. 

සෙල්ෆියක් කියන්නේ තමන්ගේ රුව තමන් විසින් ගන්නා ඡායාරුපයක්. මේ වචනය ඉංග්‍රීසි භාෂාවටත් අලුත් නිසා. සිංහල වචනය හැදෙන්න ටිකක් කල් ගියාම මොකද? 

තමන්ගේ + රුව = තමරූ
ඒ විදියට ලියන්න පුළුවන්. වැඩේ තියෙන්නේ තමරු කියන්නේ නෙළුමට නිසා මේ දෙක පටලවා ගන්න පුළුවන්. 

තමන්ම + ගැනීම = තමගැනීම 
   විදියට වුණත් ලියන්න පුළුවන්. තම ගැනීමක් = සෙල්ෆියක්, හෝ තමරුවක් = සෙල්ෆියක් විදියට සටහන් කරන්න පුළුවන්. මොනවද ඒ ගැන ඔබේ අදහස්?

Sunday, July 30, 2017

අප ක්‍රිකට් දැනුම වර්ධනය කර ගත්තේ කෙසේද ? .......

අපේ කාලයේ ක්‍රිකට් නොන්දන්නා කෙනෙකුට, ගුවන් විදුලි විකාශනයකට සවන් දෙනවිට හකුරු පොල් තත්වයක් විය. මගේ පියා නිතරම අසන ප්‍රශ්න කිහිපයක් වේ. ඒ දුර ඈත ඉඳන් මේ ක්‍රීඩකයින් හඳුනා ගන්න(විකාශණය ගෙන එන අට්ටාලයේ සිට - එකල නිවේදකයින් ලබා දෙන වචන අනුව එක්-එක් අය තමන්ගේ මනස තුල මේවා චිත්‍රණය කර ගනී. අට්ටාලය යනු කුමක්දැයි මා දැන සිටියේ නැත. මා පියාගෙන අට්ටාලය ගැන විමසු විට ඔහු පවසා සිටියේ, කළා ප්‍රදේශ වළ පැල් රකින්නේ අට්ටාලයක සිට බවය. ඔහු එය තනා තිබෙන අකාරය පිළිබඳව කෙටි විස්තරයක් සපයයි. ඒ අනුව අපේ අල්ලපු වත්තේ තිබෙන කුමාර කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩාංගනය නැරඹීම සඳහා මාත් මගේ සොයුරියත්, එම ක්‍රීඩාංගනය දෙසට ඇලවී තිබුණු සූරිය වර්ගයේ ගස උඩ එවැනි අට්ටාලයක් තනා ගතිමු. නමුත් සෑම දිනකම සවස හය වනවිට එය අකුලා තැබීමට අපට සිදු වුයේ, එහි තට්ටුව සඳහා අවශ්‍ය ළී අප සපයා ගත්තේ අපේ ඇඳන් වල තිබෙන පොලු ඉවත් කර ගැනීම නිසාය. සෑම සති අන්තයකම මෙය සිදු විය. එයට අමතරව එහි සිට පාඩම් කිරීමද අප සිදු කරගෙන ගිය අනෙක් කටයුත්තයි. සවසට බෙන්තොට ක්‍රීඩා සමාජයේ අයියලා මෙහි සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදේ. ඒ අවස්තාව වනවිට සොයුරියට එහි ඉන්නට අවසර නැත. මා හුදකලාවම ක්‍රිකට් විස්තර විචාරයකයෙකු විය. නමුත් මුල් කාළයේ මටද මේ ස්ථාන පිලිබඳ දැනුමක් නොතිබුණි) ක්‍රීඩකයින්ගේ නම් ඔවුන්ගේ පිටේ සටහන් කර තිබෙනවාද යන්නයි. කිසිදින ක්‍රිකට් තරගයක් නරඹා නොතිබූ මා මේ විස්තර අසා සිටියා මිස ඒ ගැන විස්තර කරන්නට දැනුමක් නොවීය).
පින්තූරය ගත්තේ : infolanka වෙබ් අඩවියෙනි


ෆයින් ලෙග්, ලෝන්ග් ලෙග්, ස්ලිප්, මිඩ් විකට්, කවර්ස්, පොයින්ට් මේවා ගැන ඔහු මාගෙන් නිරතුරු ප්‍රශ්න කරයි. පසු කාළයක මා ලෙදර් පන්දු ක්‍රීඩා කරන්නට ගොස් ඒ ස්ථාන පිලිබඳ ඇඳගෙන ආ සටහන පියාට පෙන්නුවෙමි. එහෙත් ඔහුට තවමත් එය හකුරු පොල් තත්වයේ විය. මා එම සටහන දෙස බලාගෙන ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා, මයිකල් කරුණාතිලක කල විස්තර විචාර වලට සවන් දුනිමි. ඒ මගින් එක්-එක් පහර ස්වභාවිකව ගමන් ගන්නා ප්‍රදේශ ගැන මනා අවුබෝධයකට එන්නට මට හැකි විය. මේසේ ආනන්ද-නාලන්ද, රාජකීය - සාන්ත තෝමස්, ඉසිපතන - තර්ස්ටන්, රිච්මන්ඩ්-මහින්ද ආදී තරග වලට සවන් දෙන්නට මා පුරුදු විය.


මා කියන්නට ආ කථාව එය නොවේ. අද කෙනෙකුට ක්‍රිකට් පිලිබඳ ඉතා හොඳ අවුබෝධයක් බින්දුවේ සිට පටන් ගෙන වර්ධනය කර ගත හැක. ඒ ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට පිවිස ඔවුන්ගේ වෙබ්විකාශය කියවන අතර රුපවාහිනිය නැරැඹීමයි. එවිට රූපවාහිනියෙන් එම ස්ථාන තිබෙන ආකාරය සහ එල්ල කල පහරත් , පන්දුව ගමන් ගත් ප්‍රදේශය එල්ල කල පහරේ නමත් ක්‍රීක්ඉන්ෆෝ වෙබ්විකාශණය මගිනුත් අවුබෝධ කර ගත හැක.
අවශ්‍ය වන්නේ උනන්දුව පමණයි.

Friday, July 28, 2017

ෆ්‍රෙඩි සිල්වාගේ අනාවැකිය .......

ෆ්‍රෙඩි සිල්වාව සමාන කරන්න පුළුවන් තක්කාලි ගෙඩියකට විතරයි. හරි... හරි... තව දේවල් ඇති. ඒත් මට හිතෙන්නේ එහෙම. මොකද තක්කාලි වෙලාවකට පළතුරක් විදියටත්, වෙලාවකට එළවළුවක් විදියටත් මේක සඳහන් වෙනවා. ෆ්‍රෙඩි සිල්වත් වෙලාවකට විකට නළුවෙක්, ඒ වගේම තවත් වෙලාවකට ගායකයෙක්. ඔහුගේ ගායනය තුළින් ලෝකයට පණිවුඩය ගෙන ගියේ ඔහුගේ වැඩි ප්‍රමාණයක් ගීත රචනා කල ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. ඒක වෙනම කතාවත්. මොනවා වුණත් සිංදුවක් ප්‍රසිද්ධියට පත් වෙන්නේ ගායකගේ නමින්. මොකද ඔය ජනප්‍රියත්වයට ඒක ගායනා කරන වාර ගණනත් වැදගත්. මේවා ඔක්කොම වෙනත් කථා.

ඔබ දන්නවාද ෆ්‍රෙඩී සිල්වා ලෝකයේ කොතරම් සංචාරය කරලා තියෙනවද කියළා. හොඳයි . අපිට මොකටද කියලා ඔබට හිතෙන්න ඇති. ෆ්‍රෙඩී සිල්වා චීනයට ගිය බව ඔබ දන්නවාද? එකත් ඉතිං සාමන්‍ය දෙයක්නේ. නමුත් මේ චීන ගමනේදී බොහොම අපූරු කොලු පොඩ්ඩෙක් ෆ්‍රෙඩීට හමු වුණා. ඔහුගේ නම ෆ්‍රෙඩීට ඇහුන විදියට ජැක්ලා. නමුත් චීන්නුන්ගේ ප්‍රනවුන්ස් අපේ අයට ටිකක් අන්ද බුතයි. එවුන් කලම්බු කියන එක කියවන්නේ ලොලොම්බු කියලා. ඉතිං මේ ජැක්ලාගේ හරි නම ෆ්‍රෙඩී මැරෙනකන් වත් දැනගෙන හිටියේ නෑ. ඒ නම අපේ ෆ්‍රෙඩීට ඇහුනේ ජැක්ලා කියලා.

මේ කොලුවා(තරුණයා) ෆ්‍රෙඩීට කිව්වලු "අංකල් මම රස්සාවක් හොයනවා හොයනවා හරි යන්නේ නෑ. හැබැයි මම අත අරින්නෙත් නෑ. කවදා හරි ලෝකේ කෝටිපතියෙක් වෙලා මම නවතින්නේ. අංකල් සිංදු කියනව නේද ? මම ගැන අංකල් සිංදුවක් කියන්න. බය නැතුව කියන්න. පස්සේ කාලෙක ඒ සින්දුව කිව්ව එක ගැන අංකල්ට ආඩම්බර වෙන්න පුළුවන්"

අපේ ෆ්‍රෙඩීට මේ කොල්ලා ගැන බොහොම අනුකම්පා හිතිලා. ලංකාවට ආපු ගමන් ප්‍රේමකීර්තිට කියලා මේ ගැන. ප්‍රේම් කියන සුනංගුවට සිංදුවක් ලියලා දීලා. මේ කාලෙම තිබුණ චිත්‍රපටියකට ෆ්‍රෙඩී මේක කිව්වා. මේක බොහොම ජනප්‍රිය වුණා.  මේ පහළින් තියෙන්නේ ඒ සිංදුව. වැඩේ තියෙන්නේ ඕක නෙවෙයි.




පස්සේ කාලෙක අර කිවුවා වගේ මේ කොලුවා කොහොම හරි ලෝකේ හොල්ලන බිලියනපතියෙක් වුණා.  හැබැයි ඒක දකින්න ඒ සිංදුව කරපු කිසි කෙනෙක් ඉතුරු වුණේ නෑ. මේ පහළින් තියෙන පින්තූරේ ඉන්නේ ඒ කොලුවා. බලන්න අඳුරනවද කියළා.


දන්නේ නැති කෙනෙක් නෑ. නම ජැක්මා. අපේ ෆ්‍රෙඩීට ඇහුනේ ජැක්ලා කියළා. ඒකයි සිංදුවේ තියෙන්නේ "ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි" කියලා. ජැක්මා කියන කෙනා ගැන      අමුතුවෙන් අටුවා ටීකා ලියන්න අවශ්‍ය නෑ.  ඔහු තමයි සුප්‍රසිද්ද අලිබබා කියන සමාගමේ හිමිකරුවා. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 36ක බව ෆොර්බස් සඟරාව පවසනවා. 

Tuesday, July 4, 2017

අදාළ නෑනේ ......

මේකත් අයිති වෙන්නේ පුංචි පුංචි විහිළු කෑලි වලට. ඇවිද්ද පයට මම ලියපු කෙටිම කෙටි ලොල් කතා හෝ ලොල්ද මන්දා කැටගරි දෙකට අදාලා කතාවක් විදියට ගොඩ නගන්න තරම් දීර්ග නැති ඉතාම කෙටි රස කතාවක් මේක මයික්‍රෝ කතාවක්. ඒ නිසා ඇවිද්ද පයට දානවා නම් ඒ මට්ටමට වැටෙනා එකක් වෙන්න ඕනේ. මගේ මිතුරෝ මගෙත් එක්ක තරහ වෙන එකක් නෑ මේ වගේ අලුත් බ්ලොග් එකක් මේ වැඩේට පටන් ගත්ත එකට. මේකට වැටෙන්නේ අරකෙන් විසි වෙන කෑලි කියලා හිතන්න එපා. මේ ආරට වෙනම පාඨක පිරිසික් ඇති වෙයි කියන එකයි මගේ විශ්වාසය.

අපේ මේ බැංකු රස්සාව ආණ්ඩුවේ කියළා මහ ලොකුවට(මගේ එක්ක වැඩ කරන ලසන්ත අපි මොනවා හරි දෙයක් කියලා වැරදුනොත් පස්සේ කියන්නේ "ඔයානේ මහලොකුවට කිව්වේ" කියලා) කියන්නේ, රජයට සම්බන්ධය කියලා මොනවට හරි ගණන් මිණුම් වලට පෙන්වන්න, රජයට ආදායම් ගෙවන්න, ජනතාවට කුමක් හෝ සහනාධාර ණයක් බෙදන්න වගේ දේවල් වලට. ප්‍රතිලාභ පැත්තෙන් ගත්තොත් රජයේ සේවකයන්ට ලැබෙන සමහරක් දේ අපිට ලැබෙන්නේ නෑ. මොබිටෙල් උපහාර තමයි හොඳම උදාහරණය. මේ ළඟදී දවසක් මමත් ගියා මොබිටෙල් උපහාර සිම් එකක් ගන්න. මගේ අම්මේ ආණ්ඩුවේ ඔෆිස් එකක වත් නැති පාට් එකක් බලන්න මටත් මං එක්ක ගිය මගේ මිතුරාටත් සිද්ධ වුණා. පලවෙනි දවසේ සයිටම් විරෝධියොත් එක්ක එතැනට වෙලාවට යන්න බැරි වුණා. දෙවෙනි දවසේ යාන්තමට රිංග ගත්තා. එක කාරුණික කෙල්ලෙක් අපිව යොමු කළා ටිකක් ලොකු පොරකට. ඒකා මුළ ඉඳලාම මේක නොදෙන සයිස් එකෙන් තමයි කතාව. මුලින්ම කිව්වා

"අපි සිම් එක විතරක් දෙන්නෑ" කියලා. මම කිව්වා

"හරි මම විස්තරය හොලා බලලා ආවේ, ෆෝන් එකත් එක්කම ගන්නම්" කියලා.

"මේකේ ඉස්සර වගේ නෑ. 500 මිනිට්ස් විතරයි ෆ්‍රී"

"ප්‍රශ්ණයක් නෑ. මට ටිකක් ඇති.

ඉන් පස්සේ මම ගෙනියපු ස්ටේට්මන්ට් එක බලලා කිව්වා

"මේක ප්‍රින්ට් කරපු එකක්" කියලා. මම කිවුවා

"ඔව් මේක ප්‍රින්ට් කරලා තමයි බැංකුවෙන් එවන්න ඇත්තේ" කියලා. ඊට පස්සේ

"නෑ අපිට ඕනේ බැංකුවෙන් එවපු එක". "

"ඔව් මේක බැංකුවෙන් එවපු එක තමයි"

"කොහෙද වැඩ කරන්නේ ?"

"පීපල්ස් බෑන්ක්"

"අපි පීපල්ස් බෑන්ක් - බෑන්ක් ඕෆ් සිලෝන් දෙකට දෙන්නේ නෑ"

"කලින් දුන්නනේ"

"කලින් දුන්නා දැන් නවත්තලා"

"ඒ මොකද ?"

"නෑ. පීපල්ස් බෑන්ක් - බෑන්ක් ඕෆ් සිලෝන් දෙකට ගවන්මන්ට් පෙන්ෂන් එක නෑනේ"

"ඉතිං මේකට පෙන්ෂන් එක බලපාන්නේ කොහොමද ?"

"සර්ගේ, අම්මා හරි තාත්තා හරි ගවන්මන්ට් පෙන්ෂනර් කෙනෙක් නම් ගන්න පුළුවන්"

"මම කොහොමද එයාලා එක්කන් එන්නේ"

"එහෙනම් කරන්න දෙයක් නෑ. අපි පීපල්ස් බෑන්ක් ප්‍රමෝෂන් එකට දෙන එකක් ගන්න"

"මට දැනටමත් කාඩ් කනෙක්ෂන් එකක් තියෙනවා. මම බැලුවේ බිල් එකක් ගන්න. එතකොට වැඩේ ලේසියි. කමක් නෑ. ඔයාලට දෙන්න ඕනෙත් නැත්තනම් අපිට ගන්න ඕනෙත් නෑ"

ඔන්න ඔහොමයි වැඩේ කෙලවර වුණේ. අර ලීෆ්ලට් එකේම ගැහුවනම් ඉවරයිනේ අපිට බෑ කියලා. ඔන්න ඔහොමයි අපි අවශ්‍ය විට රජයේ වෙන්නෙත්, අනවශ්‍ය විට හැලෙන්නෙත්. ඒ ගැන දුකක් නෑ. මේවා අර්ධ රාජ්‍ය ආයතන, අපිත් ආස නෑ රජයේ සේවකයෝ කියන්න. මොකද මිනිස්සු එහෙම කිවුවම වපර ඇහෙන බලන්නේ. අපිට මේ ළඟදී ආවා ප්‍රයිවට් කම්පැනි එකක ඉඳලා බොස් කෙනෙක්. මිනිහා කියනවා "මම හිතාගෙන ආවේ ආණ්ඩුවේ ඔෆිස් එකක් කිව්වම මම හිතුවේ අයිස් ගහන, වැඩක් කරන්නේ නැති මිනිස්සු සෙට් එකක් තමයි මට මැනේජ් කරන්න වෙන්නේ කියලා. ඒ වුණාට බලාගෙන යනකොට තමුසෙලත් වැඩක් කරනවනේ" කියලා. අපි බොහොම දෙනෙක් හිතාගෙන ඉන්න විදිය එහෙම තමයි. නමුත් නිකං හිතන්න විදුලිබල මණ්ඩලය අර්ධ රාජ්‍ය ආයතනයක්. කොයි තරම් හොඳට සර්විස් එක දෙනවද ? විදුලිය බිඳ වැටෙන්න දෙන්නේ නැතිව. රටේ අවශ්‍යතාව ගණනය කරලා ටර්බයින් ක්‍රියාත්මක කරවන්න. ඒ වගේ තමයි රජයේම වුණත් තමන්ගෙන් වෙන්න ඕනේ සේවේ හරියට දෙන තැන් තියෙනවා.

මම ආවේ වෙනත් විහිළු කතාවක් කියන්න. ඒත් මේ පඳුරු තැලිල්ලකට සෙට් වුණානේ. එහෙනම් දැන් අපි කතාවට බහිමු. මම කොතනද නතර කළේ ? අපිවත් ඔය රජයේ ගාණට සෙට් වන වැඩක් තමයි "වාර්ෂික වත්කම් ප්‍රකාශණය". ඒක රජයේ ඇමති මණ්ඩලයේ ඉඳන් පහලට ඉන්න කොයි කවුරුත් පුරවන්න ඕනේ.
මේක පුරවන අය දන්නවා ඇති මේකේ තියෙන ප්‍රශ්න මාලාව. සමහරවිට ආයතනයෙන්-ආයතනයට වෙනස් වෙන්නත් පුළුවන්.

ඉතිං අපට ලැබුණ ප්‍රශ්න පත්තරේ ගැන කෙටියෙන් කිවුවොත් එදා ඉඳලා අද දක්වා තමන් සතු දේපල පිලිබඳ සංක්ෂිප්ත වාර්ථාවක් මේකෙන් එකතු කර ගන්නවා. මට දැනුණු විදියට කාට හරි ගහන්න උවමනා වුණොත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අ‍ඨෝරාශියක් ප්‍රශ්න වලට තනියම උත්තර දීගන්න සාමාන්‍ය කෙනෙකුට අපහසු වෙනවා. මොකද මේ වගේ නීතියම වටිනාකමක් තියෙන ලේඛනයක් පුරවන්න ගියාම, යම්කිසි වැරදි තොරතුරක් සටහන් වුණොත්, සියතින් ගෙල සිඳගැනීමක් වගේ වෙනවා. එහෙම තමන්ට ගහන්න තමන් විසින් ආයුධ සපයන කෙනෙක් නෑ. හැබැයි එහෙම කර ගන්නා අය නැතුවමත් නෙවෙයි. ඒ ටූ ස්මාර්ට් වෙන්න යන අය.  අපේ අය අතරත් එහෙම කෙනෙක් දෙන්නෙක් නැතුවම නෙවෙයි.

අපිත් එක්ක වැඩ කරන එක් සහෝදරියකට තිබුණ ගැටළුවක් තමයි, සමහර ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති වුණාම, ඒවාට මොනවද ලියන්නේ කියලා. උදාහරණයට "ඔබ, ඔබගේ බිරිඳ හෝ ඔබේ දරුවන් නමින් වෙනත් පුද්ගලයන් සතු දේපළක් පවරා ඇතිද ?" වගේ ප්‍රශ්න. මේ වගේ එකකට උත්තරය නැත කියලා ලියන්නත් පුළුවන්. හැබැයි අදාලා නොවේ වගේ උත්තරයකින් "ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න ඕන එකක් නෙවෙයි" කියන උත්තරයෙන් කනට ගහන්න පුළුවන්. මේක පුරවන අතරේ අපිත් එක්ක වැඩ කරන ලලනි මහත්මියට මේ බව මම පැහැදිලි කරලා දුන්නා. ඉතිං ඇය හරි සතුටට පත් වුණා, මේ උත්තරය සම්බන්ධව. ඉන් පස්සේ බොහෝ තැන් වලට මේ අදාළ නොවේ උත්තරය සපයලා තියෙනවා මම දැක්කා.

ඒ උත්තරය සපයපු එක් ප්‍රශ්ණයක් වුණේ "ඔබට මහජන බැංකුවට අමතර වෙනත් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් තිබේද ?" වගේ ප්‍රශ්ණයක්. වගේ කියලා මම කිව්වේ, හරියටම ප්‍රශ්නය මේක නොවෙන්නත් පුළුවන් නිසා. මේ ප්‍රශ්නෙට අපේ මිතුරිය අදාළ නොවේ කියලා පිළිතුරු දීලා තිබුණා. ඒක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්

ඒ ප්‍රශ්නය මට අදාළ වෙන්නේ නෑ. ඒ කියන්නේ මම අයිති වෙන්නේ එක ගිණුමකට වඩා තිබෙන කුලකයට. ඒකෙන් හීන් සීරුවේ කියන්නේ මට වෙනත් බැංකුවක ගිණුම් තිබෙන බව. මේ ගැන විස්තර කල විගස ඇය අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි "ටිපෙක්ස් එකක් තියෙනවද ?" කියන ප්‍රශ්නේ.